Monday, July 4, 2011

විප්ලවය…......

බෝ ඈත දුරු රටක....
නාඳුනන මිනිසුන්ගෙ....
දැවෙන කුසගිනි දැනෙන.....
උතුම් හදවතක ඉපදුන.....
රතු මලින් පිදෙන....
උන් නොවැලූ සොහොන මත
හැමදාම ඉකිබිඳින....
ඇගේ සිත නොදැනි මියදුන.....

පරාජිත විරු සිතක.....
දයාබර වියරුව.....

Saturday, May 21, 2011

සුබ රාත්‍රියක් නිව්ටන්.... උසස් පෙළ දිනපොත -3

උසස් පෙළ දිනපොත කියලා බ්ලොග් සටහන් දාන්න පටන් ගත්තට මොකද ඒ වැඩේ පටන් ගත්තු තැනම නැවතුනා.. අද තමයි මට එකපාරටම ඒ බව මතක් වුනේ. ආයෙත් පරණ diary 1 කියවලා නිසදැසක් තෝරගත්තා පෝස්ට් කරන්න. කියවලා බලන්නකෝ. මේ මට ඒ දවස්වල පොතක් අතට ගත්තම හිතුණු විකාර තමයි.....

නිදි බර මගේ නෙතු
වෑයමෙන් පොත මත
මුමුණමින් නිව්ටන් නියම
'සෑම ක්‍රියාවකටම ඇත
සමාන හා ප්‍රතිවිරුද්ධ
ප්‍රතික්‍රියාවක්.... '
එක්වරම සිතට දැනුණි
නවමු වූ පිබිදුමක්..
කෙතරම් වෙහෙසුණත් කිම
ලැබෙනු නිසැකයි
සමාන ප්‍රතිපල...
අමතක කර නිදි සුව..
නැවත මා කියෙව්වෙමි
නැවුම් වූ පැතුම් සමඟම ...
අහෝ....!!! ලියා තිබුණි ඊළඟට
'අවස්ථිති රාමුවක් නොවේලු මේ ලෝකය.. '
වලoගු නොවේලු
නිවටන්ගෙ නියම
දැන් කුමට වෙහෙසෙම්ද.....
වසා දමා මා පොත
ගියෙමි විඳින්නට නිදි සුව
කොඳුරමින්....
සුභ රාත්‍රියක් නිව්ටන්ට...!!!

Sunday, May 1, 2011

අපි ලබාදෙමු කම්කරු අයිතිය...!!!

 

සිය දහස් දාබිඳු
සැඟව ඇති මේ පොළව මත
හැමදාම තැලුනු නුඹෙ
දුක් කඳුලු එක්කම...
අදත් නුඹ ...
පා ගෙවෙන තුරු ඇවිද
ප්‍රශස්ති දහසකුත් ගයමින
වනා උන්ගෙ ගුණ කඳ..
තෙරපි තෙරපී ගිනි අව්වෙ
පෙළ ගැසී සිටින හැටි..
සියල්ල අවසානයේ
වැඩම කොට
ගැලවුම්කරු !!
සුවිසල් කාරයෙන
කියන තුරු
"අපි ලබාදෙමු කම්කරු අයිතිය" !!!!


සක් රජුත් මැයි රැළියෙද
නැතිනම් දිරලා වත්ද
මේවට උණු නොවෙන
කබල් පඬුපුල් අසුන..

Wednesday, April 27, 2011

දුවන උන්ට මොන වෙඩිද ....!!!

සැරසේන්....
මම සූදානමින්
ඇස් දෙක පියාගෙන
දිනුම් කණුව හීනෙන් දකිමින්
පත්තු වෙන තුරු වෙඩිල්ල
ඩෝo....
වෙඩිල්ලෙ සද්දෙට ගැස්සුනා මම
පටන් ගත්තෙමි
වේගයෙන් දුවන්නට...
ටික දුරක් ගිහින් බැලුවා
කවුද මගෙ ඉදිරියෙන්
කවුරුවත් නැහැ..
හීනියට හිනාවක් .
හෙමින් සැරේ බැලුවා මම
කවුද මගේ පසුපසින්
කවුරුවත් නැහැ !!!!
උන් ගොඩාක් පිටිපස්සෙ.
මට හිනා...
වේගෙ ටිකක් අඩුකරලා
මම හිමින් සැරේ ගියා
දිනුම් කණුව ළඟට
එතන ලොකු කලබලයක් ....
මේන් කට්ටිය කවුරුත් මෙතන
මම දැක්කෙවත් නැතුව
කොහොම ආවද...
මම පොඩ්ඩක් කිට්ටු කරලා ඇහුවා
කොහොමද මෙච්චර කලින් ආවෙ
මම දැක්කෙවත් නෑ නේ
අපොයි !!!!
උන් වෙඩිල්ල පත්තු වෙන්න කලින් ඇවිත්
දුවන උන්ට මොන වෙඩිද අහනවා...
දැන් තව දුවනවලු !!!
මම හෙමින් සැරේ පැත්තකට වුණා
මට හති......

Monday, April 25, 2011

නුඹ මට පෙම් කරාවි..


වැව් ඉස්මත්තේ
ගොඩාක් කල් බලන් ඉඳලා
දහසකුත් නිමිති බලලා
හරි පරෙස්සමට
වැව් දියට බැස්සෙ මම්
හෙමිහිටම අඩිය තිව්වේ
කැලතෙතැයි නුඹ
බියෙන් මම්...

වැව් දියේ ඇඳිච්ච
නුඹේ සොඳුරු රුව
නුඹට ලන් නොවී
හොරෙන් හොරෙන් වින්දා මම්...
'නුඹත් මට පෙම් කරාවි'
ලොකුම ලොකු පැතුමක්
හිත අස්සෙ හිරකරන්...

හදිස්සියෙන්ම !!!
වැටුණු ඒ වැහි පොද
කලත්තමින් වැව් දිය
බොඳ කර නුඹෙ රුව...
සොරාගත්තා නුඹ මගෙන්...
මකා දමා අවසාන පැතුමත්....

හිතුවක්කාර මගේ සිත
තාමත් තනියම
මග බලාගෙන....
නුඹ පායන තුරු
වැව් දියත්තට ආයෙමත්

සඳවතියේ.....
'නුඹ මට පෙම් කරාවි.. '
මට හිතෙනවා තවමත්

Saturday, March 26, 2011

කොපි පේස්ට්

වැඩ වැඩ වැඩ වැඩ මම මේ දවස් ටිකේ ඉවරයක් නැති වැඩ ගොඩක හිරවෙලා. විබාග, assignments, projects deadlines පිරිලා. මදි පාඩුවට ක්‍රිකට් මැච් තියෙනවානෙ.
අවුරුදු හතරක් කළා වගේම ඔය submissions වෙලාවට කෙරෙයි. (වෙලාවට කියුවම ආයෙ හරියටම වෙලාවට ).  එහෙම හිතාගෙන මම නිදහසේ ඉන්නවා.
ආසවෙන් පටන් ගත්තට මොකද මගේ බ්ලොග් එක තාම පටන් ගත්තු තැනමයි. ඒ හින්දමයි හිතුනෙ මොනවාහරි ලියන්න ඕන කියලා.
ලියන්නත් පුලුවන් ඒත් මේ type කෙරුවාවනෙ එපා වෙන්නෙ.  අයියෝ...මම මොනවාහරි කියන්න ගත්තම වැල් වටාරම් ගොඩයි නේද.

කියන්න ගියේ විබාග ගැන. විබාග කිව්වට විබාග ගැනම නෙවෙයි. විබාග ඇගයීම් එක්ක එකටම බැඳී පවතින දෙයක් ගැන කියන්නයි.
 අටුවා ටීකා මොකටද, ඔව් ඔව් වෙන මොකද්ද ඉතින් copy කිරීම තමා. ජීවිත කාලෙ කිසිම දවසක copy නොකරපු අය එහෙම ඉන්නවානම්....
නෑ එහෙම කෙනෙක් ඉන්න අමාරුයි. google එකෙන් හරි කොපි පේස්ට් කරලා ඇතිනෙ. එහෙමත් නැත්නම් එයා නියමම දක්ශයෙක්.
පුන්චි කාලෙ ඔය ඇගයීම් එහෙම ඉතින් කොපි පේස්ට්ම තමයිනෙ. ලොකු කාලෙ නෑ කියලා කිව්වේ නෑනෙ. :D

ඉස්සර අපි 4, 5 පන්තිවල ඉන්නකොට ජනප්‍රියම කොපි කිරීමේ මාධ්‍යය තමා මකන කෑල්ල. ගුරුතුමිය පොඩ්ඩක් අහක බලාගන්නකොටම පන්තිය පුරා මකන කෑලි පියාඹනවා. ඇගයීම් නම් කොපි කරන්නේ හරි වැරදි බලද්දි නේ. රතු පෑනට නිල් පෑනෙ බටය දාගෙන හරි වැරදි බලන්නේ. ඉතින් මුලු පන්තියටම ලකුණු සීයයි. 
ඉස්සර A/L පන්තියේ පාස් පේපර්ස් කරන් එන්න කියුවාම ගණන් හදන් එන්න  දුන්නාම කීයෙන් කී දෙනාද ඉතින් ඕවා කරගෙන එන්නෙ. උදේ පාන්දරට ජාතික ගීය කියන ගමන් තමයි  වැඩි දෙනෙක් Applied ගණන් හදන්නෙ. Applied ගණන නම් මොනවාහරි කරලා period එකට කලින් හදනවාම තමයි. ඒ බය දන්නෝ දනිති.
ඉතින් ඔය මුල් resource 1 ගණන වැරැද්දුවොත් එදාට පන්තියම ඉවරයි.  එහෙම දවස් තමා වැඩිපුර තිබුනෙ.

එක්කෙනෙක් පාස් පේපර්ස් දෙක තුනක ගණන් හදලා තිබුනොත් ඒ කොල ටික 5 , 6 දෙනෙක් එක්ක බෙදාගන්නවා. එක ප්‍රශ්නයක් හරි කලා කියන්නෙ අපි උත්සාහ කරලනෙ. :P අපේ පන්තියේ ඉඳපු ළමයි ටික නම් හරිම එකමුතුයි ඔය වගේ වැඩ වලට. ඔය වගේ වැඩ වලට නෙවෙයි ඕනම වැඩකට එකා වගේ හිටියා කියලා මතක් කරන්න ඕන. ඒ සුන්දර පිස්සු පන්තිය මතක් වෙනකොට ආයෙ  ඉස්කොලෙ යන්න හිතෙනවා.

කැම්පස් එකේදි නම් කොපි....එක්කො ඒවා පස්සේ කියමු. මට තාම උපාධිය දුන්නෙ නෑනෙ. හික්ස්. එතකොටයි මතක් වුනෙ පොඩි assignment එකක් කොපි කරලා සස්පෙන්ඩ් කරනවාට බයේ හිටපු කෙනෙක් ගැන කතාවක් තියෙනවා. ප්‍රකාශන අයිතිය ලැබුනොත් දවසක කියන්නම්.

දෙකේ පන්තියේ කොපි කිරීමක් ගැන සත්‍ය රස කතාවක් කියලාම සටහන අවසන් කරන්නම්. රස කතා කිව්වම රස කතා, හිනා යන කතා නෙවෙයි හොදද. හිනා නොගියොත් කලබල වෙන්න එපා.

මේක ගාල්ල නගරයේ ජනප්‍රිය බාලක පාසලක මල්ලියෙක් කරපු වැඩක්. මේ මල්ලිට කියලා වැඩක් කරවන්න පුදුම අමාරුයි. 2  පන්තියේ විතර ඉන්න කාලෙ අසා ලිවීමට ලකුණු  2 ක් 3කට වඩා වැඩිපුර ඇත්තෙම නෑ. එක දවසක් මේ මල්ලිගෙ වචන 6 න් 5 ක්ම හරි ගිහින්.
 අම්මෝ එදා ඉතින් මේ මල්ලිගෙ අම්මට හරිම සතුටුයි.  ඒ වගේම පුදුමයි. අම්මා පුදුම සතුටකින් අර මල්ලියාට කියනවා.
 "අනිත් වචනෙත් හරියට ලිව්වානම් නියමයිනෙ පුතේ 6න් 6ම තියෙනවානේ. ඊළඟ දවසෙ මගේ පුතා ඔක්කොම හරියට ලියන්න .. " කියලා. 
එකපාරටම අර මල්ලියා කියනවා.
 "අල්ලපු මොට්ටයා හරියට ලිව්වානම් මගෙත් හරිනෙ " !!!!!!!!!!!!!!!!!!!! 

පසු වදන: වැඩ ගොඩාක් තිබුනා කිව්වට මගේ ලිවීම නම් අඩුවුනෙ නෑ. සාමාන්‍යයෙන් වැඩ වැඩි කාලෙටම තමා වැඩිපුර ලියන්නේ.
ආයෙ කැම්පස් එකට ගියාම බ්ලොග් එකේ දාන්නම්. ටයිප් කිරීමේ අකමැත්ත කොහොමහරි මැඩ පවත්වගෙන.

Wednesday, February 16, 2011

උසස් පෙළ දිනපොත... - 2

පාඩම් කරනවා කියන්නෙ ඉතින් එපා වෙන වැඩක්නෙ. අමුතුවෙන් කියන්න දෙයක්ද නේද? වැඩ ගොඩාක් ගොඩ ගැහිලා එකක්වත් කරගන්න බැරිව විභාගෙයි සරසවියයි ඔක්කොම එපා වුනු වෙලාවක මගේ දිනපොතේ මෙන්න මෙහෙම ලියවිලා තිබුණා....

තුරුණු වියේ එලිපත්ත උඩ
බලාපොරොත්තු පොදි ගහගෙන
දෑහට නොපෙනෙන ලෝකයකට
පොරබදින අපේ ජීවිත ...

නිදහස උකස් කර
නොපෙනෙන අනාගතයක්
සුන්දර කරගන්න
නිදිවරන නෙත් යුග ....

දිනන්නට නුඹව මම
කෙතෙක් වෙර දැරුවද
වහ කදුරු ගානයි
සත්තකින් නුඹව මට ....

නුඹට සිත් බැඳුණු මුත්
නුඹ නිසා හෙම්බත්ව
විඩාබර මගේ සිත
විටෙක කොඳුරයි මට ...

තව නොබෝ දිනකින්
කුරුටු ගා කොල ටිකක
නුඹට දෙන ජීවිතය
සින්න වෙච්චාවෙලු නුඹටම !!!

Tuesday, February 15, 2011

උසස් පෙළ දිනපොත...

අතීතය කියන්නෙ සුන්දර අසුන්දර මතක ගොඩක සන්කලනයක්. සමහර මතකයන් තියෙනවා කවමදාවත් අමතක වෙන්නෙ නැති අමතක කරන්න බැරි. සුන්දර මතක ගොඩාක් හීනයක් එහෙමත් නැත්නම් චිත්‍රපටයක් වගේ ආපහු හිතෙන් දකින කොට හිතට ලොකූ සතුටක් දැනෙනවා. ඕනම කෙනෙක් මේ මනෝ පාරෙ සතුට විඳලා ඇති. ඔය lectures වලදි එහෙම සමහර අය තනියම හිනාවෙනවා පේන්නෙ !!! මේ කියන්න යන්නේ මනෝ පාරක් ගැන නම් නෙවෙයි. 
මේ ළඟදි දවසක පරණ පොත් ගොඩක් අවුස්සද්දි මට මගේ අතීතයේ ලිඛිත සටහන් ගොඩාක් හම්බවුනා. 2005, 2006 අවුරුදු දෙකේ දිනපොත්. 2004 විද්‍යා දිනය අවසානයේ හිත දැනිච්ච සතුට ලියපු කොළ ගොඩාක් සහ තව මෙකී නොකී දෑ කිහිපයක්. ඉතින් ඔය දිනපොත් කියවද්දි A/L කරපු කාලය ෆිල්ම් එකක් වගේ පේනවානෙ. හරිම සතුටුයි ඒ පිස්සු කාලය මතක් වෙනකොට. මගෙ දිනපොත් වල වැඩිපුරම ලියලා තිබුනෙ කවි හා නිසදැස්. ඇත්තටම ඒවාට කවි නිසදැස් කියන්නත් බෑ. ඒවා අදහස්. හැමදාම හවසට එදා දවස ගැන වචනයක් ලියන ගමන් නොදැනුවත්වම කුරුටු ගෑවිච්ච අදහස්. සිතා මතා ආසාවෙන් ලියපු කවි නෙවෙයි. ඒ නිසා වෙන්න ඇති මම මේ තරම්ම ඒ කවි වලට කැමති. ඒ කාලෙ තිබුන ලොකුම හීනය මේ මොරටුව කැම්පස් එකනෙ. වැඩිහරියක්ම ලියවිලා තියෙන්නේ ඉතින් පාඩම නොකර පිස්සු නටලා අධි පීඩනයෙන් විභාගය ගැන දුකට ලියන කවි තමා.
තව ඉතින් කවිය ලියලා අන්තිමට සරසවිය කියලා දාපුවත් නැතුවම නෙවෙයි. 

සම්ප්‍රදාය වෙනස් කරලා අපි අපේ කණ්ඩායම් ව්‍යාපෘතිය විදියට කරපු විදු නැණ සර 2004 විද්‍යා දිනය අවසානයේ ලියපු සටහන දැක්කම හිතට දැනුණෙ පුදුමාකාර සතුටක්. දහසකුත් බාධක මැද්දෙ ඇතිවෙන්න කටු කාලා මහන්සි වෙලා කරපු විද්‍යා දිනය සාර්ථකව අවසන් වුණු මොහොතෙ දැනුණු හැඟීමම මට අදත් දැනුනා කිව්වොත් හරියටම හරි. විද්‍යා දිනය ගැන නම් අපිට වෙනම බ්ලොග් එකක්ම ලියන්න දේවල් තියෙනවා.

ඒ අවුරුදු දෙකෙ විශේෂ දවස් ගැන නම් කොහොමත් අමතක වෙන්නෙ නෑනෙ. දිනපොත් කියෙව්වාම ඒ විශේෂ දවස් ගැන මතකය අලුත් වුණා.

අපේ bio/maths පන්තිය (12/13 B) 2005 වෙසක් එකට දීපු දන්සල මතක් වෙනකොටත් හරිම සතුටුයි. කාලා බීලා කන්න බොන්න දීලා හරිම විනෝදෙන් ගත කරපු දවසක්, එතකොට 2005 මොරටුවෙ expose බලන්න ආපු ගමන, කිව්වට මොකද ඊට පස්සේ මම එකම expose exhibition එකක්වත් බලලා නෑ. හොඳ වෙලාවට ඒ අවුරුද්දෙ හරි ආවෙ. ප්‍රදර්ශනයෙ තිබුන දේවල් අපිට සරල වැඩි නිසා අපි අන්තිමට කැම්පස් එකේ ඇවිදලා beach ගිහින් ඇතිවෙන්න ෆන් අරන් යන්න ගියා. :D
ඇයි දකුණු පලාතේ ඔක්කොම ඉස්කෝල එකතු වෙලා කරපු දක්ශින අභිමානි . ප්‍රදර්ශනම තමා ඔක්කොම.

ඉස්කෝලෙදි බැනුම් අහපුවා කෑගහලා punish කරන කොට හොරෙන් බේරිලා ඉදපුවා, periods කට් කරලා බොරු ඩියුටි කරපු හැටි වගේම බොරු periods ගැන කියලා ඩියුටි කට්  කරපු මතක. තව ඉතින් පන්තිවල මතක සටහන්. අපොයි මේවා ලියලා  ඉවරයක් කරන්න බෑ

මේ වගේ කී නොකී දහසකුත් සුන්දර මතකයන් මගේ දිනපොත් වල පිරිලා. කිව්වත් වගේම අතීතය කියන්නේ සුන්දර මතකයන් ගොඩක් විතරක් නෙවෙයිනෙ. 2004 දෙසැම්බර් වල සිදුවුන සුනාමිය නිසා ගාලු නගරය විනාස වුනා. අපේ ඉස්කෝලෙ අපේම යාලුවො සුනාමිය නිසා අපිට නැති වුණා. මට මතකයි ඒ දවස්වල ගාල්ලෙ සුන්බුන් අයින් කරන්න කලින් ටවුන් එකට ආවම හිතට මහ අනියත බයක් දැනෙනවා.

ඊට පස්සෙ අපි දවස් කීයක් බය වුණාද සුනාමි එනවා කියලා. ඉස්කෝලෙට වෙලා මුහුද දිහා බලාගෙන හිටියා දවසක් බයවෙලා. සුනාමි නම් ආවෙ නෑ. ඒත් ඉතින් උගන්නන්නෙ නැති නිසා නිදහසේ කියවා කියවා හිටියා මතකයි. යාලුවො එකට මැරෙන්න හිතාගෙන !!!!!!

මගේ දිනපොත් මේ වගේ මතක සටහන් වලින් පිරිලා. මට හිතුණා ඒ මතකය ආපහු අවදි කරන්න. ඒ දිනපොත් වල තියෙන අර  මම කලින් කිව්ව කවි ටික මම බ්ලොග් එකේ දානවා. මොකද ඒ කවි මගේම මතක සටහන් නිසා..සමහරවිට ඔබත් ඒ මතක සටහන් වල කොටස්කරුවෙක් වෙන්න පුලුවන්...

කිව්වත් වගේම 2005 මුල් මාස වල සරසවි සිහිනය ගැන ලියපු කවි දෙකක් දාලම පටන් ගන්නම්.

විඩාබර සිතකට
නිරන්තර දිරියක්
ගිරිදුර්ග මාවතක
සොඳුරුතම නැවතුමක්
දයාබර දෙහදක
අහින්සක පැතුමක්
සරසවිය නුඹ
සකල සිත් කොනක රැඳි 

සොඳුරුතම සිහිනයක්.....

ඇවැසිමයි නුඹව මට
අහිමි නොවනු මැන
සිහිනයක්ව හිඳ
නුඹ කෙරෙහි ආලයෙන්
මසිත නුඹ ගැනම
පෙරුම් පුරනා සඳ
කිමද නුඹ මා වෙතින්
දුරස් වනුයේ නිබඳ
ආදරණීය සරසවිය
මා ඔබේ කරගනු මැනව

Friday, February 11, 2011

ආදර කතාව....ලියුවේ ඇය...




දඟකාර යොවුන් වියෙ
පන්ති ගිය
තෙවන දින
නෙත් කැරකුණා වටපිට
හොරැහින් අහින්සකව ...

නැවතුණා මගේ නෙතු
ඇසුරු සැණින් ඔහු ලඟ
දඟකාර කියවිල්ල
අමතකව නැවතිල්ල !!

ගැස්සුණා මගේ හිත
දැනුණු නුහුරු හැඟුමට
වෙනතක හැරුණා මම
තද කරන් මගේ සිත

ඉවසිල්ලක් නැතුව
හිතුවක්කාර නෙත
මටත් හොරෙන් තවත් වරක්
හොරැහින්ම හැරුණා යලි

එකම එක වතාවක්
නෙතු දකින්නට
ඇත්තමයි...
එකම එක වතාවයි

නෙතට සැර වැර කරන්
ආපසු හැරුණා මගේ සිත
මගේ සිත ???
නැහැ
ආපසු හැරුණා
සිත නැතිව මම.......

Monday, January 10, 2011

ඔන්න අන්තිමට මම පටන් ගත්තා...

මේ සයිබර් අවකාශයේ රවුම් ගහද්දි අපේ යාලුවන්ගෙ බ්ලොග් කියවද්දි බොහොම කාලෙක ඉඳන් මටත් හරිම උවමනාව බ්ලොග් 1ක් පටන් ගන්න. ඒත් ඉතින් ඔය වැඩේ හැමදාම කල් යනවා. මට වැඩ වැඩි හින්දම නෙවෙයි. ඔය ඉතින් දහසකුත් හේතු හන්දා. කොහොමහරි දැන්නම් මම පටන් ගන්නවා. ගන්නවා නෙවෙයි පටන් ගත්තා. මම ලියන දේවල් කියවන්න මගේ යාලුවො හැමෝටම ආරාධනා කරනවා.

මම කිවිඳියක් වත් ලේඛිකාවක්වත් නෙවෙයි. ඒත් මම හරිම කැමතියි හැම වෙලාවෙම මොනවා හරි කුරුටු ගාන්න. මට හිතෙන දේවල් තව කවුරුම හරි කියවාවි කියලා හිතාගෙන ඔන්න මම බ්ලොග් 1 ලියන්න පටන් ගත්තා. පුන්චි කාලෙ ඉදලම මට පුරුද්දක් තිබුනා හිතට සතුටක් දුකක් තරහක් ....වගේ දැනුනොත් මගෙ කතාව ලියලා ඉරලා විසිකරන. ඉරලා විසිකරන්නෙ ඔය සතුට දුක තරහ වැඩිඋනාම ලියන කියන දේවල් පසුවට බැලුවම ලැජ්ජාවෙ බැරි නිසා :D :D ඒවා එකතු කරා නම් මගේ ජීවිත කතාව ලියන්න තිබුනා. අපරාදේ.

අටුවා ටීකා මොකටද නේද? මාත් මොනවා හරි ලියනවා..හිතුමතේ ලියනවා....හිත පුරා විඳින්න එන්න...



කවි කාරියක් නොවෙමි..

කවි පද නොලිව්වෙමි...
මoමුලාවී ජීවිතේ
මොනවදෝ සෙව්වෙමි..
අහම්බෙන් මුණ ගැසුණි
අපූරු පන්හිඳක්
මගේ හිත කියවන
ඔහේ හිතුමතේ දුවයන

මොනවාදෝ කුරුටු ගෑමි..
පන්හිඳ හමුවූ සේම
ලියූ සිත කියවන
ඔබත් හමුවන බව දැන...