Wednesday, August 15, 2012

නිර්මාණය ....

නිරුවත් සිතුවිල්ලක් 
සුමුදු සලුපිළියෙන් සරසා 
නෙත් කලු වර්ණ ගන්වා 
කඩතොලු වසා... සුසුදු වත්සුනු තවරා ..
දනන් සිත් පිනවන 
ගීයක්ව ලියවී ...
අත්පොළසන් මැද්දේ 
ගැයෙයි කරළියක ... අවසන.. 
විසිර යති සැවොම තුටින 
පෙම්වතුන් එක්වන අවසානයක් දැක 
උපන් ගෙයි මියැදුන 
අව්‍යාජ සිතුවිල්ල 
නොදැක නොවිඳ .. හිස් සිතින 

(දුටු තැන ගසන්නට ගෙනා 
ගල් මුගුරු ද සඟවගෙන  )


.

Friday, February 24, 2012

නුඹේ ගමන අයාලේ ...

ඇසුරු සැනින් 
හැම මොහොතකම 
නැවතිල්ලක් නැතුව 
නුඹ රස්තියාදුවේ .. 
නුඹේම ලෝකෙක
නුඹ කැමති මාවතක
නුඹ කැමති මොහොතක 
නුඹට ඕන විදියකට ..
නුඹේ ගමන අයාලේ 
තරහත් යනවා මට 
නුඹත් එක්ක 
සමච්චලේට හිනාවෙන විදියට
නුඹ මගේ , 
"සමාජ සම්මත" ගමනට
එකම එක දවසකට 
නුඹ මම වෙලා 
මම නුඹ වුනානම් 
එදාට තේරෙයි නුඹට 
මේ "සාර්ථක, යහපත්" සමාජයෙන් 
සඟවන්න නුඹේ සසල බව 
මම විඳින වේදනාව .. 
.................................
දැන් මේ මොහොතෙත් 
නුඹ දුවලා 
මේ ලෝකේ මම යන්න ආසම තැනට ... 
නුඹ හරිම සතුටින් ... 
ඇත්තටම ඉරිසියයි "සිත" 
මට නුඹ එක්ක ... 

Monday, July 4, 2011

විප්ලවය…......

බෝ ඈත දුරු රටක....
නාඳුනන මිනිසුන්ගෙ....
දැවෙන කුසගිනි දැනෙන.....
උතුම් හදවතක ඉපදුන.....
රතු මලින් පිදෙන....
උන් නොවැලූ සොහොන මත
හැමදාම ඉකිබිඳින....
ඇගේ සිත නොදැනි මියදුන.....

පරාජිත විරු සිතක.....
දයාබර වියරුව.....

Saturday, May 21, 2011

සුබ රාත්‍රියක් නිව්ටන්.... උසස් පෙළ දිනපොත -3

උසස් පෙළ දිනපොත කියලා බ්ලොග් සටහන් දාන්න පටන් ගත්තට මොකද ඒ වැඩේ පටන් ගත්තු තැනම නැවතුනා.. අද තමයි මට එකපාරටම ඒ බව මතක් වුනේ. ආයෙත් පරණ diary 1 කියවලා නිසදැසක් තෝරගත්තා පෝස්ට් කරන්න. කියවලා බලන්නකෝ. මේ මට ඒ දවස්වල පොතක් අතට ගත්තම හිතුණු විකාර තමයි.....

නිදි බර මගේ නෙතු
වෑයමෙන් පොත මත
මුමුණමින් නිව්ටන් නියම
'සෑම ක්‍රියාවකටම ඇත
සමාන හා ප්‍රතිවිරුද්ධ
ප්‍රතික්‍රියාවක්.... '
එක්වරම සිතට දැනුණි
නවමු වූ පිබිදුමක්..
කෙතරම් වෙහෙසුණත් කිම
ලැබෙනු නිසැකයි
සමාන ප්‍රතිපල...
අමතක කර නිදි සුව..
නැවත මා කියෙව්වෙමි
නැවුම් වූ පැතුම් සමඟම ...
අහෝ....!!! ලියා තිබුණි ඊළඟට
'අවස්ථිති රාමුවක් නොවේලු මේ ලෝකය.. '
වලoගු නොවේලු
නිවටන්ගෙ නියම
දැන් කුමට වෙහෙසෙම්ද.....
වසා දමා මා පොත
ගියෙමි විඳින්නට නිදි සුව
කොඳුරමින්....
සුභ රාත්‍රියක් නිව්ටන්ට...!!!

Sunday, May 1, 2011

අපි ලබාදෙමු කම්කරු අයිතිය...!!!

 

සිය දහස් දාබිඳු
සැඟව ඇති මේ පොළව මත
හැමදාම තැලුනු නුඹෙ
දුක් කඳුලු එක්කම...
අදත් නුඹ ...
පා ගෙවෙන තුරු ඇවිද
ප්‍රශස්ති දහසකුත් ගයමින
වනා උන්ගෙ ගුණ කඳ..
තෙරපි තෙරපී ගිනි අව්වෙ
පෙළ ගැසී සිටින හැටි..
සියල්ල අවසානයේ
වැඩම කොට
ගැලවුම්කරු !!
සුවිසල් කාරයෙන
කියන තුරු
"අපි ලබාදෙමු කම්කරු අයිතිය" !!!!


සක් රජුත් මැයි රැළියෙද
නැතිනම් දිරලා වත්ද
මේවට උණු නොවෙන
කබල් පඬුපුල් අසුන..

Wednesday, April 27, 2011

දුවන උන්ට මොන වෙඩිද ....!!!

සැරසේන්....
මම සූදානමින්
ඇස් දෙක පියාගෙන
දිනුම් කණුව හීනෙන් දකිමින්
පත්තු වෙන තුරු වෙඩිල්ල
ඩෝo....
වෙඩිල්ලෙ සද්දෙට ගැස්සුනා මම
පටන් ගත්තෙමි
වේගයෙන් දුවන්නට...
ටික දුරක් ගිහින් බැලුවා
කවුද මගෙ ඉදිරියෙන්
කවුරුවත් නැහැ..
හීනියට හිනාවක් .
හෙමින් සැරේ බැලුවා මම
කවුද මගේ පසුපසින්
කවුරුවත් නැහැ !!!!
උන් ගොඩාක් පිටිපස්සෙ.
මට හිනා...
වේගෙ ටිකක් අඩුකරලා
මම හිමින් සැරේ ගියා
දිනුම් කණුව ළඟට
එතන ලොකු කලබලයක් ....
මේන් කට්ටිය කවුරුත් මෙතන
මම දැක්කෙවත් නැතුව
කොහොම ආවද...
මම පොඩ්ඩක් කිට්ටු කරලා ඇහුවා
කොහොමද මෙච්චර කලින් ආවෙ
මම දැක්කෙවත් නෑ නේ
අපොයි !!!!
උන් වෙඩිල්ල පත්තු වෙන්න කලින් ඇවිත්
දුවන උන්ට මොන වෙඩිද අහනවා...
දැන් තව දුවනවලු !!!
මම හෙමින් සැරේ පැත්තකට වුණා
මට හති......

Monday, April 25, 2011

නුඹ මට පෙම් කරාවි..


වැව් ඉස්මත්තේ
ගොඩාක් කල් බලන් ඉඳලා
දහසකුත් නිමිති බලලා
හරි පරෙස්සමට
වැව් දියට බැස්සෙ මම්
හෙමිහිටම අඩිය තිව්වේ
කැලතෙතැයි නුඹ
බියෙන් මම්...

වැව් දියේ ඇඳිච්ච
නුඹේ සොඳුරු රුව
නුඹට ලන් නොවී
හොරෙන් හොරෙන් වින්දා මම්...
'නුඹත් මට පෙම් කරාවි'
ලොකුම ලොකු පැතුමක්
හිත අස්සෙ හිරකරන්...

හදිස්සියෙන්ම !!!
වැටුණු ඒ වැහි පොද
කලත්තමින් වැව් දිය
බොඳ කර නුඹෙ රුව...
සොරාගත්තා නුඹ මගෙන්...
මකා දමා අවසාන පැතුමත්....

හිතුවක්කාර මගේ සිත
තාමත් තනියම
මග බලාගෙන....
නුඹ පායන තුරු
වැව් දියත්තට ආයෙමත්

සඳවතියේ.....
'නුඹ මට පෙම් කරාවි.. '
මට හිතෙනවා තවමත්